කළුතර දිස්ත්‍රික්කයේ පාසල් නොයන දරුවන් 161ක් හඳුනාගැනේ…

⭕කළුතර දිස්ත්‍රික්කයේ පාසල් නොයන දරුවන් 161ක් හඳුනාගැනේ…

වැඩිම පිරිස දොඩංගොඩින්…
කළුතර දිස්ත්‍රික්කය තුළ 2025 වසර සඳහා පාසල් වයසේ පසුවන දරුවන් 161 දෙනෙකු පාසල් නොයන බවට හඳුනාගෙන ඇති බව කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය වී තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වුණි. කළුතර දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරියාගේ වාර්තාවට අනුව පාසල් නොයන දරුවන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 51කි. අනෙකුත් කොට්ඨාස අනුව දත්ත සලකා බැලීමේදී හොරණ 20ක්, පානදුර 15ක්, කළුතර 15ක්, මතුගම 15ක් සහ බේරුවල ප්‍රදේශයෙන් දරුවන් 14ක් වාර්තා වී ඇත. මීට අමතරව පාලින්දනුවර 08ක්, බණ්ඩාරගම සහ අගලවත්ත ප්‍රදේශවලින් 07 දෙනා බැගින් ද, ඉංගිරිය 04ක්, මිල්ලනිය 02ක්, මදුරාවල 02ක් සහ වලල්ලාවිට කොට්ඨාසයෙන් එක් දරුවෙකු බැගින් හඳුනාගෙන තිබේ.


කෙසේ වෙතත් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් පාසල් නොයන කිසිදු දරුවෙකු වාර්තා වී නොමැති වීම සුවිශේෂී කරුණකි. මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා ගෙන ඇති ප්‍රතිසාධන පියවර යටතේ හඳුනාගත් දරුවන්ගෙන් 42 දෙනෙකු දැනටමත් නැවත පාසල් ගත කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. විශේෂයෙන් කළුතර, මතුගම, බණ්ඩාරගම, දොඩංගොඩ, මදුරාවල සහ පාලින්දනුවර යන ප්‍රදේශවලින් මෙම දරුවන් නැවත අධ්‍යාපනයට යොමු කර තිබේ. දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමේ අරමුණින් දිස්ත්‍රික්කයේ පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14න් 12කම මේ වන විට ‘පාසල් අධීක්ෂණ කමිටු’ පිහිටුවා අවසන් බව ද එහිදී අනාවරණය විය. බේරුවල සහ මතුගම යන කොට්ඨාසවල ද මෙම කමිටු පිහිටුවීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව බලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ.

Stay connected with Channel V 👇
Follow, like, share & subscribe for more updates!

🌐 Website: https://channelv.lk/
📘 Facebook: https://www.facebook.com/share/1Av9jEQJNf/
▶️ YouTube: https://www.youtube.com/@ChannelV-ven
🎵 TikTok: https://www.tiktok.com/@channel_v_official

Leave a Reply

Your email address will not be published.