new

බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ අරමුණයි…

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් බලශක්ති සැපයුමට ඇතිවිය හැකි බාධා සැලකිල්ලට ගනිමින්, රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඒ සඳහා බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ බලශක්ති භාවිතය කළමනාකරණය කිරීම පිළිබඳව අද (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

අදාළ අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.

එමෙන්ම බලශක්ති පරිභෝජනය සීමා කරමින් රාජ්‍ය කාර්යාල පවත්වාගෙන යාම සඳහා විකල්ප ක්‍රමවේද සහ එක් දිනක නිවාඩුවක් ලබාදීම වැනි යෝජනා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

අධ්‍යාපන, සෞඛ්‍ය, සංචාරක, ධීවර, කර්මාන්ත, කෘෂිකර්ම, වරාය, ගුවන්තොටුපොළ සහ ඩිජිටල් සේවා වැනි අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර අවම බලශක්ති භාවිතයකින් පවත්වාගෙන යාම සඳහාද විශේෂ අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.